තරු සිත්තම

a

Friday, July 6, 2012

සුරාවේ විපාකය


ගුරු පාරේ දූවිලි නඟමින් පැමිණි පොලිස් ජීප් රථය රාජේශ්වරීලාගේ නිවස ඉදිරිපිට නතර විණි. වහා ඉන් බැස ගත් උප පොලිස් පරීක්‍ෂක විජේසූරිය ඇතුළු නිලධාරීන් කණ්ඩායම රාජේශ්වරීගේ කටුමැටි පැල්පත වෙත පිය නැඟුවේ ලැබී තිබූ පැමිණිල්ලකට අදාළව කරුණු විමසීමටය. ඒ රාජේශ්වරීලාගේ නිවස දෙසින් හමා එන දැඩි දුර්ගන්ධයක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාගයටය.

රාජේශ්වරී විවාහ වී සිටියේ සුප්පයියා සෙල්වරාජ් සමඟය. ඔහු පුන්තෝට්ටම් ගම්මානයේ මුල් පදිංචිකරුවෙක් වූයේය. කා සමඟත් ඉතා කුළුපග තරුණයෙකු වූ සෙල්වරාජ් කෙරෙහි රාජේශ්වරීගේ සිත ඇදී යන්නේ නිරායාසයෙනි. දෙදෙනා අතර ඇතිවන ප්‍රේමය මුහුකුරායත්ම ඔවුනොවුන් හොඳින් අවබෝධයකින් යුතුව විවාපත් ව පුන්තෝට්ටම් හි ම පදිංචි වූහ. එහෙත් ඔවුන්ට සතුටින් සාමකාමී දිවි පෙවෙතක් එහි ගත කරන්නට ලැබුණේ කෙටි කලක් පමණි.
උතුරු නැඟෙනහිර පළාත්වල ඇවිලී ගිය ත්‍රස්තවාදය සෙල්වරාජ්ලාගේ ස්ථිර පදිංචිය වෙනස් කරළීමට ද සමත් විය. වවුනියාවට ආසන්න ප්‍රදේශයක් වූ පුන්තෝට්ටම් හි නොවූවද ඒ අසල ප්‍රදේශවල ඇති වී ඇති ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා ගම්බිම් පිටින් අවිහිංසකයෝ දිවි පිදූහ. පෙර සිට අවදානම තේරුම් ගත් සෙල්වරාජ් පවුල ද ප්‍රදේශය අතහැර තාන්ඩිකුලම්වලට පැමිණ නව දිවියක් ඇරැඹීය. ඒ පවුලේ ආරක්‍ෂාව සඳහා හිතකර බැවිනි.
ඉඩමෙහි අක්කර පහක භූ®මි ප්‍රදේශයක් වගා කරමින් ද, එදිනෙදා සුළු සුළු රැකියාවන් කරමින් ද පවුල නඟාසිටුවාලීමට සෙල්වරාජ් වෙහෙසවීය. තම සැමියාගේ උත්සාහයට යම් හෝ සහනයක් වීම සඳහා රාජේශ්වරීට අවශ්‍ය විය. ඇය ද එළු රංචුවක් ඇතිකරමින් ඉන් ආදායමක් ලැබීමට කටයුතු කරන්නීය.
දියණියන් දෙදෙනෙකු ද, පුතණුවෙකුගෙන් ද සැදි සෙල්වරාජ්ලාගේ පුංචි පවුල සාමකාමීව ජීවත් වූහ. අට හැවිරිදි බාලම දියණිය නිවසෙහි තබාගෙන තම වැඩිමහල් දියණිය හා පුතණුවන් වැඩිදුර අධ්‍යාපනය සඳහා ත්‍රිකුණාමලයට පිටත් කර යැවීය. ත්‍රිකුණාමලයෙහි නේවාසිකව අධ්‍යාපනය හදාරනු ලබන තම දරුවන්ට කිසිදු අගහිඟයක් නොකිරීම සෙල්වරාජ්ගේ ද, රාජේශ්වරීගේ ද එකම සිහිනය විය.
දැනුම් තේරුම් ඇති වයසේ දරුවන් නිවසෙහි නොවීමත් සමඟම සෙල්වරාජ් තම නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට තීරණය කරන්නේ තවත් අනුවේදනීය සිද්ධි මාලවක ආරම්භය සනිටුහන් කරමිනි. දිනපතා සවස් කාලයේ දී තම මිතුරු සමාගමට වැටෙන සෙල්වරාජ් යළි රාත්‍රී කාලයේ නිවසට ගොඩවදින්නේ කටගොන්නක් බීගෙනය.
කසිප්පු පානය සඳහා දැඩිව ලොල්වන ඔහුගේ එම පුරුද්ද නතර කිරීමට රාජේශ්වරීට හෝ අට හැවිරිදි පුංචි දියණියට නොහැකි වූහ.
ඔහුගේ මේ ක්‍රියාකලාපයට දැඩිව විරෝධයක් දැක්වූ රාජේශ්වරීට පිළිතුරු ලෙස ලැබුණේ ගුටි බැටය. අඩන්තේට්ටම්ය. පියවි සිහියෙන් තමන් සමඟ සුහද සිතින් කටයුතු කරන සෙල්වරාජ් වෙනුවට රාජේශ්වරීට ලැබුණේ නිතරම කෝප ගැන්වී කටයුතු කරන දබරයට හපන් සෙල්වරාජ් කෙනෙකි. මේ හේතුවෙන් ඇය පසුවූයේ ද දැඩි කනස්සල්ලකිනි.
වෙනදා උපයන ආදායම පවුලේ වියදම සඳහා හොඳටම ප්‍රමාණවත් විය. දරු දෙදෙනෙකු නේවාසිකව අධ්‍යාපනය හදාරන බැවින් පවුලේ වියදම් පාලනයකින් යුතුව කරගෙන යාමට රාජේශ්වරීට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වූහ. සෙල්වරාජ්ට මේ පිළිබඳ බරක් පතලක් නැති සේය. ඔහුගේ දින චර්යාව වූ සුරාවෙන් මත්ව සවසට පැමිණීම කිසි දිනෙක අත්නොහැරීය.
පවුලේ විය හියදම් ද අධික වන්නේ මේ සමඟය. උපයන මුදල පිළිබඳව වගකීමකින් තොරව ක්‍රියාකළ සෙල්වරාජ්ගේ අගහිඟතා පියැවීම සඳහා රාජේශ්වරී උපයන මුදල ද වැය කිරීමට සිදුවීම පිළිබඳව ඇය සිටියේ දුර්මුඛවය.
මේ සිද්ධීන් පිළිබඳව හොඳින්ම දත් සෙල්වරාජ්ගේ සොහොයුරන් සෙල්වරාජ් හිටි හැටියේ අතුරුදන් වීමත් සමඟම ඔහුගේ නිවස අසලින් වහනය වන දුර්ගන්ධය පිළිබඳව පොලිස් පොතෙහි පැමිණිල්ල සටහන් කරන්නේය. පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කර තොරතුරු ලබාගැනීම සඳහා උප පොලිස් පරීක්‍ෂක විජේසූරිය ඇතුළු පිරිස පැමිණෙන්නේ ඉන් පසුය.
නිවස පිහිටි භූ®මියෙන් හමා එන දුර්ගන්ධය පිළිබඳව පැමිණිල්ල සත්‍යයක් වන බව වටහා ගැනීමට නිලධාරීන්ට එතරම් වේලාවක් ගත වූයේ නැත. රාජේශ්වරීගේ නිවස පිහිටි තැනට මඳක් නුදුරෙන් පාළුවට අතහැර දමා තිබූ ළිඳකින් දුර්ගන්ධය මතුවන බව විමර්ශන නිලධාරීන්ට පසක් විය. ඒ වන විට සෙල්වරාජ්ගේ අතුරුදන් වීම පිළිබඳව පොලිස් පොතෙහි පැමිණිල්ල ඉදිරිපත් කළ ඔහුගේ සොහොයුරෝ් ද එහි පැමිණ සිටියහ.
විජේසූරිය මහතාගේ උපදෙස් පරිදි යුහුසුළු වූ පොලිස් නිලධාරී කණ්ඩායම අතහැර දමා තිබූ ළිඳ පරීක්‍ෂා කරන්නට වූහ. රොඩු හා පස් දමා මදක් වසා තිබූ ළිඳ තුළින් හිටි හැටියේ දුර්ගන්ධයට හේතුව මතු විය. ඒ බල්ලෙකුගේ මළකුණකි. පොලිස් කණ්ඩායමද වික්ෂිප්ත වූහ. මෙය මතුවත්ම රාජේශ්වරීගේ දේව කන්නලව්ව ද තීව්‍ර වන්නට විය.
”අනේ දෙයියනේ මගේ මිනිහා, මම මැරුවාය කියලා කියපු උන්ට හොඳක් නම් වෙන්න එපා...”
ආදී බොහෝ දෑ කියමින් නිලධාරී කණ්ඩායම ඉදිරියේ ඈ හඬා වැටුණාය. සෙල්වරාජ්ගේ සොහොයුරන් ප්‍රකාශ කළේ සෙල්වරාජ් අතුරුදන් වීම පිටුපස නිත්‍ය ලෙසම රාජේශ්වරීගේ සම්බන්ධයක් ඇති බවය. ඔවුන් පුන පුනා ප්‍රකාශ කළේ සෙල්වරාජ්ගේ අතුරුදන් වීම පිළිබඳව රාජේශ්වරීගේ එතරම් තැකීමක් නොමැති බවය. එම සිද්ධිය පිළිබඳව ඇගෙන් විමසීමේදී ඇයගේ ප්‍රකාශ එකිනෙක පරස්පර වූ බවත්, සොයුරන් එකම මතයේ සිටිමින් පොලිසිය වෙත කරුණු දැක්වීය. රාජේශ්වරී කැඳවා ඇගෙන් නැවත නැවතත් ප්‍රශ්න කරන්නට විය. මෙතෙක් වේලා දේව කන්නලව්වෙහි යෙදෙමින් සිද්ධිය පිළිබඳව මුනිවත රැකීම තමාට තවදුරටත් සිදුකළ නොහැකි බව රාජේශ්වරීට අවබෝධ වී තිබුණේය. ඇය එතෙක් දිනක් පපුතුරෙහි සඟවාගෙන සිටි සිදුවීම් මාලාව නිදහස් කළේ හැඬූ කඳුළෙනි.
සිද්ධිය සිදුවීමට තෙදිනකට පෙර රාජේශ්වරී තම බාලම දියණිය හා සෙල්වරාජ් නිවසෙහි නවතා ත්‍රිකුණාමලයට පිටත් වන්නේ දරුවන් ඉගෙන ගන්නා පාසලින් ලද ක්ෂණික කැඳවීමක් අනුවය.
”ඔයා අද ගිහින් හෙටම එන්න. මේ දරුවත් බලාගෙන වත්තේ පිටියේ වැඩත් කරගෙන එළු පට්ටියකුත් මට බලාගන්න අමාරුයි”
ඇය නිවසින් පිටවත්ම ඇයට අවධාරණය වන ලෙස කීමට සෙල්වරාජ් අමතක නොකළේය. පසුදා එන පොරොන්දුව පිට නිවසින් පිටව ගිය රාජේශ්වරී යළි නිවසට පැමිණියේ තම දරුවන් දෙදෙනා ද සමඟය. ඒ දින දෙකක් පමණ ප්‍රමාදවය.
වත්තේ පිටියේ වගා කටයුතු පිළිබඳව පමණක් නොව එළු රංචුව පිළිබඳ වගකීම ද තමා වෙත පැටවීම ඔහුට මහත් හිසරදයක් වී තිබුණි. පුංචි දියණිය පිළිබඳව නිසි සැලැකිල්ලෙන් පසුවීමට සිදුවීම නිසා රාජේශ්වරීගේ අඩුව තදින්ම සෙල්වරාජ්ට දැනී තිබුණි. තමාටම ආහාරය සකසා ගැනීමටද කාලයක් වැය කිරීමට සිදුව තිබීම ඔහුගේ කෝප ගින්න අවුළුවාලීමට බෙහෙවින් හේතු විය. ඔහු එම දින කිහිපය තුළ කසිප්පු බෝතල් ගණනාවක් හිස් කිරීමට ද සමත්ව සිටියේය.
තම දරු දෙදෙනා ද කැඳවා නිවසට එන රාජේශ්වරීගේ රුව දකිත්ම බීමතින් සිටි සෙල්වරාජ්ගේ කෝපය ඉහ වහා ගියේය.
”තොපි එකෙක්වත් මේ ගෙදර පස් පාගන්න එපා. තොපි සේරමලා පලයව්”
ඔහු ගුගුළේය. බියෙන් ඇළලී ගිය රාජේශ්වරී හා දරු තිදෙනා එදින රැය පහන් කිරීමට තීරණය කළේ එළු රංචුව ගාල්කර සිටි කොටුව තුළය. දරුවන් තිදෙනා තද නින්දෙහි පසුවූහ. මදුරුවන් තලමින් ද නින්දත් නොනින්දත් අතර පසු වූ රාජේශ්වරීට මැදියම් රැයේ තම සැමියාගේ අඬගැසීම ඇසුණි. බීමතින් සිටි ඔහුට ජලය පානය කිරීමට අවශ්‍යව තිබුණි.
”මට වතුර දීපල්ලා”
ඔහුගේ කැඳවීමෙන් ජලය දීමට ගිය රාජේශ්වරීට සිදුවූයේ නැවත ගුටි පූජාවකට මුහුණ දීමටය. මරභීතව සිටි රාජේශ්වරී ද ඉන් ගැළවීමට දැඩි උත්සාහයක යෙදී සිටියාය. සෙල්වරාජ්ගෙන් ගැළවීම පහසු නොවන බව දැන සිටි ඇයට අන් කවරදාකවත් නොවූ තරම් ක්ෂණික කෝපයක් හට ගත්තාය. ඇය වහා ක්‍රියාත්මක වූවාය. අතට හසුවූයේ දොර අසල තබා තිබූ මන්නයයි. හැකි වෙර වීරිය යොදා සෙල්වරාජ්ට මන්න පහර කීපයක් දුන් ඇයට ප්‍රකෘති සිහිය එළැඹෙන විට සියල්ල සිදු වී හමාරය. සෙල්වරාජ් මරු සමඟ අවසන් සටනේය.
නිවසින් පිටට පැන ගත් ඇය කළ යුතු දෙයක් සිතාගනු නොහැකිව යළි දරුවන් සිටින තැනට එන විට වැඩිමහල් දියණිය අවදිව සිටියාය.
”මොකක්ද අම්මේ ඒ සද්දේ?”
ඇයගේ විමසීමට කිසිත් නොවලහා රාජේශ්වරී පිළිතුරු දුන් අතර ඊළඟට කළ යුතු දේ ද තීරණය කළාය.
ඇය හා දියණිය එක්ව සෙල්වරාජ්ගේ මළසිරුර අසල පාළු ළිඳට දමන්නේ ඒ අනුවය. ගෙතුළ පුරා විසිර තිබූ ලේ පැල්ලම් වසා දැමීම සඳහා පසුදා පහන් වන විට නිවසෙහි බිම ගොම මැටි ගා ද අවසන් කිරීමට රාජේශ්වරී සමත් වූවාය.
වැඩිමහල් දියණිය හා තමන් පමණක් දන්නා මේ අපරාධී රහස යළි කිසිදා මතු නොවන ලෙස වළලා දැමීමට රාජේශ්වරී කටයුතු කරයි. කුණු රොඩු, ලී දඬු ආදිය පාළු ළිඳට දමා පුළුස්සා දමන්නේ මේ අනුවය.
විමසිලිමත් සහෝදර පිරිසක් හා සූක්‍ෂමව කටයුතු කළ පොලිස් නිලධාරී කණ්ඩායමක් නිසා වැළැලී යාමට තිබූ අපරාධ සිද්ධියක් 2005 වසරේදී විසැඳෙන්නේ මෙලෙසය.
ඝාතනය සඳහා භාවිත කළ ආයුධය ද සමඟ රාජේශ්වරී ද ඝාතනයට සහය දැක්වීම චෝදනාව මත වැඩිමහල් දියණිය ද චූදිතයන්ව නීතිය ඉදිරියේ දණ්ඩනයට ලක් විය.

 උපුටා ගැනීම දිවයින-ලක්බිම-සිළුමිණ-දිනමිණ-රිවිර පුවත්පත් ඇසුරින්

0 comments:

Post a Comment