තරු සිත්තම

a

Friday, March 30, 2012

ලේ වමනය

ලේ වමනය වීම බොහෝ රෝගින්ගේ සිත් කලබලයට පත් කරන්නා වූ රෝග ලක්‌ෂණයකි. ආහාර මාර්ග පද්ධතියේ මුල් කොටස වන මුඛ කුහරය, අන්නස්‍රොaතය (ගලනාලය), ආමාශය සහ කුඩා අන්ත්‍රයේ පෙර කොටස වන ග්‍රහණිය නැමති ස්‌ථාන වලින් රුධිරය වහනය වුවහොත් ලේ වමනය විය හැක. සමහර විට වමනය විමත් සමඟම කැස්‌සක්‌ද ඇති වන බැවින් මෙලෙස පිටතට පැමිණෙන රුධිරය පිටවූයේ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව හෝ පෙනහලු සහ ස්‌වසන පද්ධතිය ආශ්‍රිතවද යන්න, කැස්‌සත්a සමඟ ලේ වමනය වූ විට සොයා ගැනීම අසීරු වේ. ආමාශයේ ඇති ආම්ලික යුෂ මගින් රතු පැහැති රුධිරය දුඹුරු පැහැ ගැන්වෙන අතර එය ස්‌වසන මාර්ගයෙන් සිදුවුවහොත් එය සාමාන්‍ය ලේ රතු පැහැයක්‌ ගන්නා හෙයින් මෙලෙස වෙන්කර හඳුනාගත හැකිවේ. 

ආහාර මාර්ග පද්ධතියේ උඩ කෙලවරින් රුධිරය වහනය වීම ස්‌වල්ප ලෙස සිදුවන විට ලේ වමනය වීමක්‌ සිදුනොවිය හැක. එවිට අසුචි කළු පැහැවී තිබීම පමණක්‌ දක්‌නට ලැබේ. එනමුත් රුධිර වහනය අධික වේගයෙන් සිදුවුවහොත්, ආමාශය තුළ එකතු වී තිබී, එක්‌වරම ලේ වමනය ඇතිවිය හැක. මෙවිට රුධිරය දුඹුරු පැහැවීමට අමතරව, ආමාශ්‍රිත යුෂ මගින් රුධිර කැටි ගැස්‌වීමද අඩාල කරනු ඇත. ලේ වමනය වීම එක්‌වරක්‌ පමණක්‌ හෝ ස්‌වල්ප ලෙස සිදුවුවද, ආමාශයේ ඇති අධික ධාරිතාව නිසා, මෙය තුළ වැඩි රුධිරය ප්‍රමාණයක්‌ එකතු වී තිබිය හැක. එබැවින් ස්‌වල්ප ලෙස ලේ වමනය සිදුවුවද, වහා වෛද්‍ය උපදෙස්‌ ලබාගැනීම අත්‍යවශ්‍ය බව මතකයේ තබා ගන්න. 

ලේ වමනය වීම හේතු ගණනාවක්‌ නිසා සිදුවිය හැක. ආහාර මාර්ග පද්ධතියේ තුවාලවීමක්‌ සිදුවුවහොත් රුධිරය වහනය වී, ලේ වමනය විය හැක. මුඛ කුහරයෙන් රුධිරය වහනය වීමත්, නාස්‌කුහරයේ පිටුපසින් රුධිරය වහනය වීමත් හේතුවෙන් රුධිරය ගලනාලය ඔස්‌සේ ආමාශයට ගොස්‌ රුධිරය එක්‌වී, පසුව ලේ වමනය විය හැක. තවද ගලනාලයේ ආසාදිත තත්ත්වයක්‌ ඇතිවීටදී හෝ ගලනාලය තුවාලවී හෝ පිළිකාවක්‌ ඇතිවිටදීද මෙලෙස රුධිරය වහනය වී, ආමාශය තුළ එකතුවී, පසුව ලේ වමනය විය හැක. එනමුත් ගලනාලය ආසාධනය වී ඇතිවිටදී හෝ පිළිකාවක්‌ ඇතිවිටදී, ආහාර අනුභව කරන විට එය ගලනාලය තුළ හිරවන අපහසුතාවයට වඩා බහුලවම දක්‌නට ලැබෙන රෝග ලක්‌ෂණයයි. ආහාර අජීර්ණ තත්ත්වයකදී හෝ වෙනයම් රෝගි අවස්‌ථාවකදී කිහිප වරක්‌ම තදින් වමනය වීමද බහුලවම දක්‌නට ලැබෙන සිද්ධියක්‌ වන අතර, මෙලෙස කිහිපවරක්‌ම වමනය වන විටදී ගලනාලයේ අග කෙලවර තුවාලවීම සිදුවිය හැක. එබැවින් මෙම අවස්‌ථාවේදී සිදුවන වමනය සමගද රුධිරය මිශ්‍රවී තිබිය හැක. අක්‌මාව, සිරෝසියා තත්ත්වයට පත්වූවිටද ලේ වමනය සිදුවන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙලෙස සිදුවනුයේ අක්‌මාවේ ඇති රළු ස්‌වභාවය හේතුවෙන් ගලනාලය අග කෙලවරෙහි ඇති ශිරා රුධිර නාලිකා පොකුරු මෙන් ඉදිමී පුපුරා යැමයි. මෙය බහුලවම දක්‌නට ලැබෙන රෝගි අවස්‌ථාවක්‌ වන අතර, මෙවිට ඇතිවන රුධිර වහනයවීම පාලනය කිරීම පවා ඉතා අසීරු වේ.

ආමාශය තුළ ඇතිවන තුවාල බොහෝ දුරට ආම්ලික යුෂ ස්‍රාවය අධික වීම නිසා සිදුවේ. මෙය මුලින් ගැස්‌ට්‍රයිටිස්‌  ලෙසද පසුව තුවාල වූ විට පෙප්ටික්‌ තුවාල ලෙසද හඳුන්වනු ලබයි. මෙවිට සිදුවන රුධිර වහනය නිසා ලේ වමනයවීම ඉතා කලාතුරකින් සිදුවන අතර බොහෝවිට සිදුවන්නේ අසුචි කළු පැහැවීමයි. මීට අමතරව තුවාලවීම නිසා උදරයේ උඩ කොටසේ දැවිල්ලක්‌ ලෙස වේදනාවද ඇතිවේ. 

ආමාශයේ පිළිකා තත්ත්වයන් නිසාද ලේ වමනය විය හැක. ඒ සමඟම ආහාර අරුචිය , උදරයේ වේදනාව, ශරීරය සිහින් වීම, අප්‍රාණික ගතිය සහ අසුචි කළු පැහැවීම ආමාශයේ පිළිකාවල අනෙකුත් රෝග ලක්‌ෂණයි. 

මීට අමතරව රුධිරය කැටි කරන ක්‍රියාදාමයේ යම්කිසි වෙනසක්‌ ඇතිවන රෝගි තත්ත්වයක්‌ ඇති වූ විටද ලේ වමනයවීම දැකිය හැක. මීට කදිම නිදසුනක්‌ වන්නේ ඩෙංගු රෝගයයි. මෙවිට රුධිරය කැටි ගැසීම සඳහා අවශ්‍යය කරන රුධිර පට්‌ටිකා සංඛ්‍යාව අඩුවීමෙන් ආමාශය තුළට රුධිරය වහනය වී, දුඹුරු පැහැතිව ලේ වමනය සිදුවිය හැක. 

ලේ වමනය ඇති අවස්‌ථාවේදී, මුඛ කුහරය ඔස්‌සේ එන්ඩොස්‌කොපි නැමති කැමරාව සහිත බටය ඇතුල්කිරීමෙන් අවශ්‍යය රෝග විනිශ්චය ලබා ගත හැක. මේ සඳහා රෝගියාව සිහි නැති කිරීම අවශ්‍යය නැත. එන්ඩොස්‌කොපිය මාර්ගයෙන් රෝග විනිශ්චය පමණක්‌ නොව, සමහර රුධිරය වහනය වන ස්‌ථානවලින් රුධිරය වහනය වීම පවා නැවැත්විය හැකි උපක්‍රම උපයෝගි කරගත හැක. එබැවින් ස්‌වල්ප ලෙස හෝ ලේ වමනය වූ විගසම වෛද්‍ය උපදෙස්‌ ලබාගෙන, නිසි රෝග විනිශ්චය සහ රුධිර වහනය වීම සමනය කරගැනීම ඔබ සතුවේ. 



ලංකා හොස්‌පිටල්ස්‌ 



0 comments:

Post a Comment