තරු සිත්තම

a

Thursday, June 28, 2012

වසර 12000 ත් 15000ත් අතර කාලයට අයත්බලංගොඩ මානවයාගේ ඇටසැකිල්ලක් හමුවෙයි



අදින් වසර 12000 ත් 15000ත් අතර කාලයට අයත් බවට සැකකෙරෙන බලංගොඩ මානවයයෙකුගේ සම්පූර්ණ ඇට සැකිල්ලක් බුලත්සිංහල පාහියන් ලෙනෙහි  කෙරෙන පර්යේෂණ කැණීම්වලින් සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පැරණිම ගල් ලෙනක් වන පාහියන් ලෙනෙන් මෙතෙක් 
හමුවූ පස්වැනි මානව ඇටසැකිල්ල මෙය බව පුරාවිද්‍යා  නිලධාරීහු පවසති.



පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ  ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ මග පෙන්වීමෙන්  පෙබරවාරි මාසයේදී පාහියන් ලෙනෙහි නව කැණීම් ඇරඹිණි. පාහියන් ලෙනෙහි  ඇති ප්‍රාග් ඓතිහාසික  මානව සාධක නවීන තාක්ෂණික ක්‍රම යටතේ නිවැරදිව කාල නිර්ණය කිරීමත්, බලංගොඩ  මානවයන්ගේ ජීවන තොරතුරු තවදුරටත් ගවේෂණය කිරීමත්, කැණීම් ව්‍යාපෘතියෙහි අරමුණ විය. පාහියන් ලෙන  කැණීම් ව්‍යාපෘතියෙහි ස්ථාන භාර නිලධාරී ඔෂාන් වෙදගේ මහතා පවසන අන්දමට නව මානව ඇටසැකිල්ල මතු වී ඇත්තේ  ලෙන් ‍පොළවෙහි  මතුපිට සිට මීටර් 1½ක් පමණ  ගැඹුරින් වූ බලංගොඩ  මානවයන් විසූ, අවදියට අයත්, පස් ස්ථරයකිනි. එය අංග සම්පූර්ණ මානව ඇටසැකිල්ලක් වූ අතර එය දළ වශයෙන් අඩි 5 අඟල් 3 හෝ 4 ක් උස තැනැත්තෙකුගේ බව පුරා විද්‍යා නිලධාරීහු සඳහන් කරති.

නවීන තාක්ෂණික ක්‍රම යටතේ පාහියන් ලෙනහි නව කාල නිර්ණයන් සොයා ගැනීමේ පර්යේෂණ 2007 වසරේදී  ඇරඹුණ බවත්, එහිදී ලෙනෙහි විසූ මානයන්ගේ තාක්ෂණික මෙවලම්, ආහාර පරිභෝජන රටාව, ශාක හා සතුන්, පිළිබඳවද ඔවුන්ගේ අභිචාර විධි හා සංස්කෘතික ලක්ෂණ ගැනද, විශේෂයෙන් ඔවුන්ගේ රූපලාවන්‍ය ක්‍රම ගැනද කරුණූ අනාවරණය කරගත් බව ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවසීය.
පුරාවිද්‍යා දෙපාරතමේන්තුවේ හිටපු ප්‍රවීණ කැණීම් නිලධාරියෙකු වූ ඇල්ෆ්‍රඩ් ද මැල් මහතා පැවැසුවේ, මෙවර කැණීමේදී පාහියන් ලෙන් විසූ මානවයන් භාවිතා කළ සත්ව  ඇටකටුවලින් සෑදූ පබළු, සහ ජ්‍යාමිතික ස්වරූපී ක්ෂ්ද්‍ර ශීලා මෙවලම්ද හමු වූ බවය. මීට අමතරව එම අවශේෂ අතර තිබුණු කරදිය මසුන්ගේ දත් සහ තවත් ශරීර කොටස් කැණීමට සහය වෙමින් සිටින ජූඩ් පෙරේරා මහතා විසින් හඳුනා ගෙන ඇත.





උපුටා ගැනීම :-මී පැණි

0 comments:

Post a Comment